මේක සිද්ද වෙලා තියෙන්නෙ ඕස්ට්රේලියාවෙ නිව් සවුත්වේල්ස්වල.
මේ වයස අවුරුදු 59ක් වෙන පිරිමි කෙනාගෙ ආමාශයෙන් 80%ක් ඉවත් කරලා කිමෝතෙරපි වට හතකුත් ගියාට පස්සෙ තමයි ඒ අය ලෙඩාට කියල තියෙන්නෙ එයාට පිළිකාවක් නෑ කියලා. මේ ශල්යකර්මයට කියනව කියන්නෙ gastrectomy කියලාලු. ඒකෙ ප්රතිඵලයක් විදියට දැන් ඒ මනුස්සයට වාඩිවෙලා කෑම කන්න බැරි තත්ත්වයකුත්, anxiety හා depression කියන මානසික රෝගී තත්ත්වයන්ද ඇතිවෙලා. දැන් එයා වන්දි ඉල්ලලා නඩුවක් පවරලා.
මෙන්න ලින්ක් එක. කැමති කෙනෙක් ගිහින් බලන්න.
දැන් ඉතින් මොන වන්දිය ලැබුනත් ඒ මනුස්සයගෙ නැතිවුන ඉන්ද්රියයන් ටිකවත් නිරෝගීකමවත් ආපසු ලබාගන්න බැහැනෙ. කායික විඳවීම එක පැත්තකින්. මානසික විඳවීම අනිත් පැත්තෙන්. මානසිකව විඳවන එක කායික විඳවීමටත් වැඩිය වේදනාවක්.
මට මේක කියවනකොට මතක් උනේ මං වැඩ කරන තැන හිටපු බොස් කෙනෙකුට වෙච්චි දෙයක්. එයාගෙ බිරිඳ වෛද්යවරියක්. වයස අවුරුදු පනහ පනිනකොටම මෙයාට පිළිකාවක් හැදුනා. ලෙඩේ අඳුනගන්නකොට හොඳටම පරක්කු වෙලා. කරන්න දෙයක් ඉතුරුවෙලා තිබිල නෑ. දොස්තර නෝනා මහත්තයගෙ හැටි දන්න නිසා වෙන්න ඇති සැබෑ ලෙඩේ මහත්තයාට කියල නැහැ. මෙහෙම ටික කාලයක් යනකොට මේ මනුස්සයා ගොඩක් දුර්වල වෙන්න පටන් ගත්තා. මෙයා දුර්වල උනාට ඒ වෙනකොටත් රස්සවට ආවා. අන්තිමට නෝනට මේක නොකිය ඉන්න බැරි උනා. නෝනා මහත්තයට සැබෑ ලෙඩේ කියපු දවසට පසුවදාම මහත්තය මිය ගියා.
මැරෙනකම්ම අපි දැනගෙන හිටියෙ නෑ ඒ මනුස්සයට එහෙම ලෙඩක් තිබුනු බවක්. එයා කොහොමත් කෙට්ටු කෙනෙක් නිසා බර අඩුවුනු එක එතරම් ලොකුවට පෙනුනෙ නෑ. ඒ කතාව ඇහුවාම මට හිතුනෙ ඒ මනුස්සයට ලෙඩේ දැනගත්තට පස්සෙ ඒතරම් වේගයෙන් අවසානය ලඟා වුනේ හිතේ බලපෑමකින් කියලයි. මගේ අනුමානය හරි වෙන්නත් පුලුවන්, වැරදි වෙන්නත් පුලුවන්.
එහෙම හිතනකොට මේ ඕස්ට්රේලියානුවාගෙ ඉදිරි ජීවිතය මොන වගේ වේවිද කියලා හිතාගන්නවත් බෑ. ඒ මනුස්සයා ඉතිරි ජීවිත කාලෙම හිතෙන් විඳවයි. බුදු දහමෙ කියන පව්වල විපාක ගෙවීම වෙන්න ඇති කියල මට හිතුනා අන්තිමට.
No comments:
Post a Comment