Friday 24 February 2012

Brokeback Mountain; The Movie


මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක විතරයි. ඒ නිසා මේක මම බැලුවෙ තනිවම, විචාරකයෙක්වත් අදහස් හුවමාරු කරගන්න කෙනෙක්වත් නැතුව. ඒ නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේවත් මේ ගැන ලියලා බලන්න ඕන කියලා. කවුරු හරි මේක නැරඹූ කෙනෙක් ඉන්නවා නම් මට දැනුනු දේ එයාලටත් දැනුනද කියල බලන්න. එහෙම නැත්නම් වෙනස් විදියකට දැනුනද කියල බලන්න.






ඇත්තටම අන්තිමේදි මම එක සැරයක් නෙවේ, තුන් පාරක්ම එකම දවසක් ඇතුලත මේ චිත්‍රපටිය නැරඹුවා. ඒක නරඹද්දි ඇත්තටම මට අමතක වුනා මේකෙ යන්නෙ ගේ කපල් එකකගෙ කතාවක්නෙ කියලවත්. ඇත්තටම ජීවිතේ කවදා හරි මුළු හදවතින්ම තවත් කෙනෙකුට ආදරය කරපු අයෙකුට මේ ආදර කතාව හොඳට දැනේවි යැයි මට හිතුනා. මට ලොකු පසුතැවීමක් ඇතිවුනා මං මේක එළියට දාපු මුල්ම දවස්වල බැලුවෙ නැති එක ගැන. දැන් මේක බලලා දවස් දෙක තුනක් උනාට අදටත් සියුම් වේදනාවක් එක්ක ඒ කතාව මගේ හිතට  දැනෙනවා වගේම ඇහැට කඳුලකුත් ගේනවා. මට අන්තිමට හිතුනෙ කවුරු කාට කළත් ආදරය කියන්නෙ ආදරයමයි කියලයි.



මේකෙ ප්‍රධාන චරිත රඟපාලා තියෙන්නෙ මිය ගිය Heath Ledger සහ Jake Gyllenhaal විසිනුයි. ඔවුන්ගෙ රඟපෑම් නම් විශිෂ්ඨ බව කිව යුතුමයි.


මං හිතන්නෙ නම් මම තවත් සෑහෙන වාර ගාණක් මේ චිත්‍රපටිය නරඹාවි කියලයි.

18 comments:

  1. මමත් මේ චිත්‍රපටිය බැලුවා ගිය අවුරුද්දෙ. අන්තිමට මාත් ඇඩුවා.ඇත්තෙන්ම ඔයා කිව්වා වගෙම හරිම සංවේදි චිත්‍රපටියක්. මමත් මේ වගේ ආදරයක පැටළුනු කෙනෙක් නිසා මට මේ චිත්‍රපටිය තදින්ම දැනුණා. මමත් මගේ යාළුවෙකුට මේ වගේම ආදරය කළා.ඒත් එයාට මගෙ ආදරය කොහොම කියාගන්නද කියලා තේරෙන්නෙ නෑ.මට මගෙ යාළුවත් එක්ක හැමදාම එකට ජිවත්වෙන්න තියෙනවනම් කියලා හිතුනා.ඒත් මේ රටේ කොහොම එහෙම ඉන්නද? ඒත් එයා මං වගෙ කෙනෙක් නොවෙන බව දැනගත්තහම මම ගොඩක් දුක් වුණා. අදටත් මම වෙන යාළුවෙකුට එහෙම ආදරය කරනවා. මට ගැහැණු ළමයි ගැන හැගිම් ඇතිවෙන්නෙත් නැහැ.වෙලාවකට ජිවිතය ගැන පුදුම කලකිරීමක් ඇතිවෙනවා.මොනවා කරගන්නද කියලා හිතාගන්න බැහැ.අම්මයි තාත්තයි ගමෙ කට්ටිය මං ගැන දැනගත්තොත් මං කොහොමද එයාලට මුහුන දෙන්නෙ කියලා හිතෙනවා.
    සමලිංගිකයින්ගෙ ඇත්ත කථාව මේ චිත්‍රපටියෙන් හොඳට පෙන්නලා තියෙනවා.කෙනෙක් මේ චිත්‍රපටිය ගැන ලිපියක් baiscope.lk එකෙ දාලා තිබ්බා.http://www.baiscopelk.com/?p=8596.මේ චිත්‍රපටිය ගැන ලංකාවෙ අය දැකපු විදිහ ඒකෙන් හොදට පේනවා.

    ReplyDelete
    Replies
    1. දයාබර සොයුර,
      ඔබට බොහොම ස්තුතියි මේ තරම් විවෘතව මේ දේ ගැන කතා කළාට. ඇත්තටම මේ චිත්‍රපටය නිසා මගේ ඇස් දෙකත් ඇරුනා කියල කියන්න පුළුවන්. ඒ නිසා වෙනදාට වඩා විවෘත මනසකින් මේ වගේ දෙයක් දිහා බලන්න අද මට පුළුවන් වෙලා තියෙනවා. අපේ වගේ රටක ජීවත්වෙන එවැනි අයගේ ජීවිත මොනතරම් කණගාටුදායකද කියලා ඇත්තටම හිතෙනවා. මේ චිත්‍රපටයෙ කතා කරන්නෙත් ඇමරිකාවෙ අද අපේ වගේ වටාපිටාවක ජීවත් වුනු දෙන්නෙක් ගැන නිසා ඒක ඔයාට ගොඩක් දැනෙනවා ඇති. ඇත්තටම මට කණගාටුයි. ඒත් අද ඔයාට ආදරේ කරන්න කෙනෙක් මුණගැහිලා තියෙන එක ගැන සතුටුයි. මම අර ලින්ක් එකට ගිහින් බලන්නම්. ඔයාට බොහොම ස්තුතියි.

      Delete
  2. හැපෝ,, මට නම් කවුරු කිව්වත් බලන්නෙ නෑ, බැරි වෙලාවත් ඕවට ඇබ්බැහි උනොත් නම් ඕනෙ නෑ, කොහොම උනත් මම ආසම නලුවො දෙන්නෙක් ඉන්නෙ, ඒත් බලන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටියක් බැලුව කියල සමලිංගිකයෙක් වෙන්නෙ නෑ අශේන්. ඒ වගේම තමයි සමලිංගිකත්වය කිසිවෙකු විසින් තව කෙනෙකුට බෝ කරන්නත් බැහැ. ස්වභාවිකවම එහෙම කැමැත්තක් ඇති උදවිය පමණයි එයට යොමුවන්නේ. එයාලටත් ඒ ගැන කරන්නට දෙයක් නැහැ. විෂමලිංගිකයො චිත්‍රපටියක් බැලුවෙ නෑ කියලා සමලිංගිකත්වය නැතිවෙන්නෙත් නෑ. එයාලත් ඔබත් මමත් වගේම තවත් මනුස්සයෝ පමණයි.චිත්‍රපටය බැලීම නොබැලීම ඔබේ කැමැත්තක්. මම ඒක බලන්න බල කළා නෙවෙයි.
      බොහොම ස්තුතියි ඔබටත් .

      Delete
    2. ලෝකයට අහිමි උන තවත් විශිශ්ට නලුවෙක් Heath Ledger , ලෝක ඉතිහාසයේ වැඩම සම්මාන ගනනකට හිමිකම් කී නලුවා, ඒ හැම සම්මානයක්ම ලැබුනේ ඔහු මිය ගියායින් පසුව, ද ඩාර්ක් නයිට්, ජෝකර්ගේ චරිතය වෙනුවෙන්,

      මොනවා උනත් ඕවා මානසික සීන් තමයි, කවුරු හරි විශම ලිංගිකයෙක් කැමතිද සමලිංගිකයෙක් වෙන්න?

      කෙසේ වෙතත් සමලිංගික ම්නිසුන්ට සමතැන සමාජයේ තියෙනවා, ඒක පිලිගන්න ඕනා. සමලිංගිකයෙක් කියලා සමාජයෙන් එහෙම කොන් කරවා මම දැකලා නෑ, ඒත් ඔබ අප සමලිංගිකයෙක් වෙන්න කැමති නෑ නේද/

      Delete
    3. හීත් ලෙජර් ලෝක ඉතිහාසයේ වැඩිම සම්මාන ගණනක් ලබාපු නළුවා බව මම නම් දැනගෙන හිටියෙ නෑ මල්ලි.
      මං හිතනවා සමලිංගිකයන්ගෙ මානසික තත්වයේ මූලික ස්වරූපය අපි මෙතැන මේ වන විටත් කතා කරලා තියෙන දේවල් වලින් තේරුම් ගන්න අවශ්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා.
      ඔයා කියපු ඉතුරු ටික ගැන මං කතා කරන්න යන්නෙ නෑ. පිළිතුර ඔයාගෙ සටහනේම තියෙන නිසා.
      සමලිංගිකයින්ට සමතැන...????

      Delete
  3. මම නම ඒ සමාජය ක්‍රමයට කැමති නැහැ.ඒත් ඒවගේ නිර්මාණයක් රසවිඳින්න බැරි කමක් නැතුව ඇති.මොකද කාවදාවත් ඒ විදියේ චිත්‍ර පටියක් බලල නැති නිසා.

    ඔයා පොස්ට් දාන්නේ ඉතිං වෙනස්ම දෙයක් ගැනනේ. ස්තුතියි අක්කේ.

    ReplyDelete
    Replies
    1. අපි අකැමැති වුනාට ඒක තමයි ඒ මිනිස්සුන්ගෙ රුචිකත්වය අසාර් මල්ලි. එයාලත් අසරණයි ඒක විෂමලිංගිකත්වය වගේම ස්වභාවිකව ඇතිවන දෙයක් හින්දා. අර උඩින්ම කමෙන්ට් එකක් දාපු කෙනා කියපු දේ බලන්න. එයා මොනතරම් සිත් වේදනාවකින් පසුවෙනවද කියලා. එයාලගෙ ජීවිත මොනතරම් කණගාටුදායකද. අපේ වාසනාවට අපි මෙහෙම උනාට අපිටත් එහෙම උනා නම් මොනව වේවිද?

      හැමදාම වගේ අදත් ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට ඔයාට ගොඩාක්ම ස්තුතියි.

      Delete
    2. මෙහෙ අපිට ගොඩාක් හමු වෙනව ඔය වගේ අයව..මගෙ යාලුවොත් ඉන්නව කවදාවත් කෙල්ලෙකුට ආදරේ කරන්නෙ නැති,ඒත් පිරිමි ලමයෙක් එයාගෙ ආදරේ කරගෙන ඉන්න අය...මම නම් ඒ අය දිහා නරක හිතකින් බලන්නෙ නැහැ..ඒ එයාල උපන් විදිය...මේ රටවල ඒ වගේ අයට නිදහසේ කැමති කෙනෙක් එක්ක තමුන්ගෙ ජීවිතය ගෙවන්න ඉඩ තිබුනට ලංකාව වගේ රටක එහෙම බැහැ...ඉතින් ඒ අය ගැන කණගාටු වෙනව හැරෙන්න අපට කල හැකි දෙයක් නැහැ....මාත් ඔය ෆිල්ම් එක බැලුවා..ලස්සන නිර්මාණයක්..

      Delete
    3. ඇත්තටම ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්. එයාලට හැමදාම ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ සමාජයට බයෙන්. තමන්ගෙ අදහසක් ප්‍රකාශ කරගන්න විදියක් නැහැ. තමන් ආදරේ කරන කෙනෙකුට ආදරේ කියාගන්න, එහෙම කෙනෙක් එක්ක ජීවත්වෙන්න පුළුවන්කමක් නැහැ. මනුස්සයො විදියට අපි කවුරුත් කැමතියි අපි ආදරය කරන කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න. මේ අයට ඒ මූලික අවශ්‍යතාවයම අහිමි වෙලා. එයාලා මුළු ජීවිත කාලයම ගෙවනවා ඇත්තෙ අසතුටෙන්. මනුස්සයො විදියට ඒක හරිම ඛේදවාචකයක් නේද?
      ඒ අතින් ඔයා ඔය කිව්වා වගේ බටහිර රටවල ජීවත් වෙන අය මනුස්සයො විදියට වාසනාවන්තයි. අඩු තරමේ අර ඉහත කී මානුෂික අවශ්‍යතාවය හරි ඉටු වෙනවා.

      නිර්මාණය ගැන නම් ආයෙ කියලා වැඩක් නෑ. ඔයාටත් බොහොම ස්තුතියි ඔයාගෙ විදේශයක අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට.

      Delete
  4. මෙවන් සටහනක් පළකිර්‍රිමට ඔබහෙ තිබුණු ධෛර්යයට මම මුලින්ම ස්තූතිවන්ත වෙමි. මෙම චිත්‍රපටය මම තිරගතවූ මුල් කාලයේදීම ඉතා ආශාවෙන් කිහිප වරක්ම නැරඹූවකි.

    ආදරය දෙදෙනෙකු අතර ඇතිවන සාතිශය සුන්දර හැඟීමකි. ඒ ආදරය පිළිබඳ විනිශ්චය කිරීමට අපට බලය ලැබෙන්නේ කෙලෙසද? එවන් බලයක් අපට දුන්නේ කවුරුද?

    ආදරයට ජාතිය, කුලය, වයස, රූපය, තරාතිරම බල නොපානා සේම ලිංගය ද සමහර විට වැදගත් නොවේ....ඒ එම පිරිමියා හෝ ගැහැණියගේ ආවේණික සහජ රුචිකත්වයයි....එහි ගුණ දොස් විනිශ්චය කිරීමට ඔබ හෝ මම කවුරුද?

    They are not weird, strange or abnornal....they are just different ...thats all.....

    ReplyDelete
    Replies
    1. ඔබ පැවසූ දෙයට මම ද හදවතින්ම එකඟයි. මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ තමන්ට සාපේක්ෂව හැමදෙයක්ම විවේචනය කරන්න. තමන් අකමැති නම් අනිත් මිනිස්සුත් අකමැති විය යුතුයි වගේ.

      //ආදරය දෙදෙනෙකු අතර ඇතිවන සාතිශය සුන්දර හැඟීමකි. ඒ ආදරය පිළිබඳ විනිශ්චය කිරීමට අපට බලය ලැබෙන්නේ කෙලෙසද? එවන් බලයක් අපට දුන්නේ කවුරුද?//
      ඇත්තටම මට මේ ලිපිය දාන්න හිත බල කළේ මම මේ චිත්‍රපටියෙදි දැක්ක ඔබ සඳහන් කළ මේ දේ නිසාමයි. ඔබ කිව්වා වගේ ඔවුන්ගේ ආදරය විනිශ්චය කරන්න අප කවුරුන්ද?

      රවීටත් ගොඩාක්ම ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක් දාල සහයෝගය දුන්නටත් අගය කළාටත්. ඔබ වගේ මේ දිහා බලන්න පුළුවන් කෙනෙක්, විවුර්තව කතාකරන්න කැමති කෙනෙක් මට මුණ ගැහුනාමද කොහෙදෝ.

      //They are not weird, strange or abnornal....they are just different ...thats all.....//
      That's what I want to say too....

      Delete
  5. අපිට හිතත්දිත් අප්‍රසන්න උනාට.. ඒකත් මාර දෙයක් නේද.. ? ඇයි එහෙම දේවල් ඇතිවෙන්නේ.. සාමාන්‍යයෙන් ස්වභාව දර්මයට විරුද්ධ දේවල් වලට පැවැත්මක් නැති උනාට.. මේවයෙ පැවැත්ම හරි ගැටළුකාරියි..

    ReplyDelete
    Replies
    1. අපි ස්වභාවිකවම ඉපදිලා තියෙන්නෙ විෂම ලිංගික රුචිකත්වයක් සමග නිසාත්, අපි අපට සාපේක්ෂව මේ දේ දිහා බලන නිසාත් තමයි සෙන්නා අපට ඒ අප්‍රසන්නතාවය ඇතිවෙන්නෙ. ඒ රාමුවෙන් පිටට ඇවිත් තමුන්වත් එහෙම කෙනෙකුගෙ සපත්තුවට බැහැලා බලන්න පුළුවන් වුනොත් අන්න එදාට පුළුවන් වෙයි අබ මල් රේණුවකින් හරි එහෙම අයව තේරුම් ගන්න.

      මම නම් මේක ස්වභාවධර්මයට විරුද්ධ දෙයක් කියලා දකින්නෙ නෑ සෙන්නා. ස්වභාවධර්මය විසින්ම ඇති කරපු දෙයක් නිසයි ඒකටත් පැවැත්මක් ඇතිවෙලා තියෙන්නෙ. මෙහෙම අයට ඒ වගේ හැඟීම් ඇතිවෙන්නෙ ස්වභාවිකවම මිසක් ආරෝපනය කරගෙන නෙවෙයි. ඒක හරියට ඔබටත් මටත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන හැඟීමටම සමානයි. ඉතින් එවැනි හැඟීම් එක්ක මෙහෙව් සමාජයක ජීවත් වෙන එක තරම් අසරණකමක් තවත් තියෙනවද සෙන්නා.

      ඔයාටත් ගොඩාක්ම ස්තුතියි ඔයාගෙ අදහසත් පවසල ගියාට.

      Delete
  6. Heath Ledgerගේ මම බලපු ලස්සනම ෆිල්ම් එක මේක.. ඒ වගේම සමලිංගිකත්වය ගැන කතාවෙන ෆිල්ම් එකකට මම බැලුවෙත් ඔක විතරමද කොහේද.. මට මතක හැටියට මේක සම්මාන දිනපු ෆිල්ම් එකක්..

    ReplyDelete
    Replies
    1. මමත් බලපු හීත්ගෙ ලස්සනම ෆිල්ම් එක. ඒ වගේ නළුවෙක් අකාලයෙ නැතිවෙලා ගිය එක නම්.... ඒ වගේම මමත් බලපු පළමු සමලිංගිකත්වය ගැන කතා කරපු චිත්‍රපටිය. ඔබ කිව්ව වගේ මේ චිත්‍රපටියට ඔස්කාර් සම්මාන තුනකුත්, තවත් සම්මාන 84කුත් සම්මාන සඳහා නිර්දේශ කිරීම් 66කුත් තියෙනවා. මෙතැනින් බලාගන්න පුළුවන්.

      http://www.imdb.com/title/tt0388795/awards

      Delete
  7. අක්කේ, ඔයාට පුලුවන්නම් Prayers for Bobby කියන ෆිල්ම් එකත් බලන්න. අනිවාර්යෙන්ම ඔයාට දුක හිතේවි.

    ReplyDelete
  8. nice comments

    ReplyDelete