Monday 10 June 2019

සති අන්තයේ පවුල සමග සතුට සොයා යමු....

Related image


පොඩි ළමයි ඉන්නකොට සති අන්තයක් කියන්නෙ බොහෝ දෙනාට මහා අවුල් ජාලයක්. ඒත් කරලා ඉවර කරන්න ඕන වැඩ දහසක් ගොඩ ගැහිලා. ඒ වැඩ අස්සෙ පැටවුන්ව අමතක කරලත් බෑ. එයාලත් එක්ක කාලය ගත කරන්න වැඩට යන දෙමව්පියන්ට ලැබෙන හොඳම අවස්ථාවත් මේක. මොකද කරන්නෙ?




ඔය ඔක්කොම ජරමර අස්සෙ ළමයි ටිකත් එක්ක ෂොපිං ගියොත් කොහොමද? ගොඩක් දෙනා ඔළුවෙ අත ගහ ගනීවි 'ආපෝ' කියලා. මං ඉන්න දිහා නම් තියෙනවා අම්මලා ෂොපිං කරලා එනකම් ළමයින්ව බලාගෙන එයාලව සෙල්ලම් කරන්න දාන්න පුළුවන් තැන්. පැය දෙකයි උපරිම. ගාණක් ගෙවන්නත් ඕන. එහෙම නැතුව මොකද කරන්න තියෙන්නෙ. මං කළේ මං බඩු ටික අරන් එනකම් පියතුමා ඇතුළු සියළුදෙනාටම කැමති දෙයක් කන්න කියලා කෑම කඩ ළඟින් තියන එක. ඒකටත් පොඩි වියදමක් යනවා.

එතකොට අමතර වියදමක් නැතුව කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද? තියෙනවා. හැබැයි අනිත් බාගෙ සහයෝගෙත් තියෙන්න ඕන. හොඳ පික්නික් ලන්ච් එකක් ලෑස්ති කරගෙන ගිහින් ඒ අතරතුර දරුවන්ට කරන්න මොනවා හරි ක්‍රියාකාරකම් ටිකකුත් තිබුනොත් කොහොමද? එක, එක හැඩතල කපන්න, පාට කරන්න, අලවන්න වගේ. දරුවො එහෙම දේවල් වලට ආසා නම් හරිම ලේසියි බලාගන්න. නොදැනීම වගේ කන්නෙ නැති දරුවොන්ටත් මොනව හරි බඩට දාන්න අවස්ථාවක් කරගන්නත් පුළුවන්.

මගේ දරුවො ලොකු වෙනකොට, එයාලම පාලනය වෙනකොට මේ තත්වය වෙනස් උනා. අපි ෂොපිං කරලා ඉවර වෙලා ඔක්කොමත් එක්ක ගිහින් මොනවා හරි කෑවා. සමහර දවස්වලට එයාලා ආසා කරන දෙයක් අරන් පාක් එකකට හරි මුහුදු වෙරළට හරි ගිහින්, වාහනේ පිටිපස ඇරලා ඒකෙ වාඩිවෙලා තියාගෙන කෑවා. දරුවො සති අන්තෙ වෙනකම් මග බලාගෙන හිටියෙ ඒ දේවල් කරන්න.

සමහර දරුවො අම්මලත් එක්ක උයන්න ආසයි. එයාලා කැමති කෑම ජාති තනියම හදාගන්න ආසයි. පස්සෙ අස් කරන එක එපා කරන දෙයක් උනාට ඒකෙන් එයාලා ජීවිතේට අවශ්‍ය දෙයක් ඉගෙන ගන්නවා. ඒ වගේම පවුලෙ ඔක්කොමත් එක්ක ගේ අස් කරන්න පුළුවන්. වැඩිහිටියොත් සහභාගි වෙනකොට දරුවොත් හරිහරියට ඒවා කරන්න කැමතියි. එයාලගෙ කාමර අස් කරලා, ඒක පෙන්නලා දෙමව්පියො හොඳ කියනවා අහන්න කැමතියි. එහෙම ආසාවල් තමුන්ගෙ දරුවන්ට තියෙනවා නම් එයාලව ඒකට උද්‍යෝගිමත් කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි.

ඔයාලා මොනවද සති අන්තෙ කරන්නෙ දරුවොත් එක්ක එකට පවුලක් විදියට? ❤👪



No comments:

Post a Comment