"මතක පොතේ පිටු එකිනෙක පෙරලා.... අතීතයේ මුදු සිහින විමානෙට... හෙමින් හෙමින් පාවී යන්නම්...."


Wednesday, 18 January 2012

ගෙවල් දෙකක වෙනස....

පසුගිය කාර්ය බහුල දිනවලම යම් යම් අවශ්‍යතා සඳහා මට මගේ යෙහෙළියන් දෙදෙනෙකුගේ නිවෙස්වලට යන්නට සිදු වුණා. ඒ එක් නිවෙසක් මට සුපුරුදු ස්ථානයක්. නමුත් අනිත් යෙහෙළියගේ නිවෙසට මම ගියේ පළමු වතාවට. ඇත්තටම මට ලොකු වෙනසක් දැනුනා. ඒ දැනුනු දේ නිසා මේක ඔයාලටත් කියලා ඔයාලගෙ අදහසුත් දැනගන්න බ්ලොග් එකට ලියනවා කියලයි එදාම හිතාගත්තෙ.


මං කිව්ව පළමු යෙහෙළියගෙ නම අමා කියමු. අමා විවාහක පිරිමි දරුවන් දෙදෙනෙකුගෙ මවක්. ඇගේ මහත්තයා වෛද්‍යවරයෙක්. ඔහු බොහොම අවිවේකී කෙනෙක් නිසා අමා නීතීඥවරියක් ලෙසට තමුන් කර කර හිටිය රැකියාවෙනුත් අයින් වෙලා දරුවො දෙන්නා බලාගෙන දැන් ගෙදර ඉන්නවා. එයාගෙ නිවෙසට තමයි මම කලිනුත් ගිහින් තිබුණෙ. මෙදාපාර ගිහින් දවසක් නවතින්න වුණා. ඒකයි මේක වැඩියම හිතට වැදුනෙ.ඒ ගෙදර පුරවලා නවීන පන්නයේ ගෘහ භාණ්ඩ. ඇත්තම කිව්වොත් ඉඩක් තියෙන හැම තැනකම මොකක් හරි බඩුවක්. නාන කාමරේට ගියාම පිස්සු වගේ. හැම තැනම පොඩි පොඩි ප්ලාස්ටික් රාක්ක තියල ඒවා නොයෙකුත් ජාතියේ බෝතල් වලින් පුරවලා. ෂවර් කියුබිකල් එක ඇතුලෙම ප්ලාස්ටික් රාක්ක තුනක්. ඉස්සරහින් එකයි, පස්සෙන් එකයි, බිම එකයි. ඒ හැම එකකම එක එක ජාතියේ ෂැම්පු, කන්ඩිෂනර්, ෂවර් ජෙල් ආදිය. බාත් රූම් එකට යන මිනිහට ඇඳුමක් තුවායක් එල්ලගන්න තැනක් නෑ. ඒකට තියෙන බාර් එකෙත් ප්ලාස්ටික් රාක්කයක් එල්ලලා. ඉතුරු ඉඩේ පත හෙයාර් ඩ්‍රයර් එකක් ඔතලා. ඒ නිසා ගෙනියන ඇඳන් ඉන්න ඔක්කොම එල්ලගන්න වෙන්නෙ දොර පිටිපස්සෙ හයි කරලා තිබුණු පුංචි කොකු දෙකක. ටබ් එක වටේට මල් වාස්, රූපලාවණ්‍ය උපකරණ ආදිය. මං මේ කිව්වෙ බාත් රූම් එක ගැන විතරයි. කියන්න ලේසි නිසා. ගෙයි අනිත් කොටසුත් මේ වගේ. බඩු පුරවලා. දරුවො දෙන්න පුංචි නිසා එයාලගෙ සෙල්ලම් බඩුත් තැන තැන දැම්මම හිතාගන්න පුළුවන්නෙ තත්ත්වෙ. නිකම් හුස්ම ගන්නත් බෑ බෑ වගේ. ටීවී එක හරිම විසාලයි. දරුවො අම්මත් එක්ක ටීවී බලන්න ඇබ්බැහි වෙලා කියල තේරුනා. කෑම කන්නෙත් ටීවී එක ඉස්සරහින් ඉඳගෙන. එහෙම නැති වෙලාවට  වැඩි හරියක් කොම්පියුටර් ගේම්ස්.

මේ එයාලගෙ ගෙදර නම් නෙවෙයි. හැබැයි එක මුල්ලක් ගත්තොත් මේ වගේ තමා.


දෙවෙනි යෙහෙළියගෙ නම නිශා කියමු. නිශාත් විවාහක පිරිමි දරුවො දෙන්නෙකුගෙ අම්ම කෙනෙක්. නිශාගෙ දරුවො දෙන්නත් අමාගෙ දරුවන්ගෙම වයසෙ. එයාත් එයාගෙ මහත්තයත් ඉංජිනේරුවරු. දෙන්නා වැඩට ගියාම දරුවො ඩේ කෙයා එකේ සුපුරුදු විදියට. වැඩ ඇරිලා ඇවිත් ගෙදර වැඩ කටයුතු කරගන්නෙ නිශා තනිවම. ඒ ගෙදර හරිම සරලයි. සාලෙ පුටු සෙට් එකට අමතරව වැඩිහරියක් හිස්. බාත් රූම් එකේ තිබුණෙ අත්‍යවශ්‍යම බඩු ටික විතරයි. අත පය දිග අරින්න ඕන තරම් ඉඩ. නිදාගන්න කාමරේ ඇඳයි බිත්ති කබඩ් එකයි විතරයි. ටීවී එකට තිබුනෙ හරිම පුංචි තැනක්. ඒක නිකම් අත්‍යවශ්‍ය දෙයක් බලන්න විතරයි පාවිච්චි කළේ. එක්කෙනාට එක ගානෙ කම්පියුටර් තිබුණට දරුවො ඒවයෙ එල්ලිලා හිටියෙත් නෑ. ඒ දරුවො වැඩිපුරම කළේ පොත් කියවපු එකයි, එක එක දෙවල් හදපු එකයි. එයාලට ඒවා කරන්න වෙනම ස්ථානයක් තිබුණා. කෑම කන වෙලාවට ටීවී එක දාල තිබුණොත් ඕෆ් කරනවා. හැමෝම මේසෙට වාඩිවෙලා කන්න ඕන.

ඉතින් මම මේ බොහොම කෙටියෙන් කිව්වෙ මගේ හිතට තදින්ම වැදුනු දෙයක්. මේ දෙපොල සැසඳුවාම අපටත් ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවාය කියලා හිතුනා. සල්ලි තියෙනවා නම් අරගෙන ඕනතරම් ගොඩ ගහගත්තම අපට මොකෝ කියල හරි, තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල හරි හිතනවට වැඩිය ගත යුත්තක් මෙතන තියෙනවාය කියලා හිතුනු නිසයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ.

දැන් ඔයාලගෙ අදහසුත් කියන්නකෝ....

27 comments:

  1. //කෑම කන වෙලාවට ටීවී එක දාල තිබුණොත් ඕෆ් කරනවා. හැමෝම මේසෙට වාඩිවෙලා කන්න ඕන.//

    මේ කොටස ඇත්ත. සහයෝගිතාව වැඩිවෙන්න මෙහෙමෙ කරන්න ඕනේ. (අනිත් ඒවා බොරැ නෙවේ)

    ජය ශ්‍රී !

    ReplyDelete
  2. පළවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව අහිමි වුන තැනක්....බොහෝ විට මේ ගෙදර තීන්දු තීරණ ගන්නෙ නීතිඥ ගෘහණිය විය හැකියි. දොස්තර මහත්තයාට කරන්න දෙයක් නැතුව ඇති.
    දෙවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව හොඳින් ක්‍රියාත්මක වෙන තැනක්.. එතන පියා, භෞතිකව හිටියත් නොහිටියත් ගැටළුවක් නෑ. විනය පිළිවෙල පවතින්නෙ එතනයි.

    ReplyDelete
  3. පළවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව අහිමි වුන තැනක්....බොහෝ විට මේ ගෙදර තීන්දු තීරණ ගන්නෙ නීතිඥ ගෘහණිය විය හැකියි. දොස්තර මහත්තයාට කරන්න දෙයක් නැතුව ඇති.
    දෙවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව හොඳින් ක්‍රියාත්මක වෙන තැනක්.. එතන පියා, භෞතිකව හිටියත් නොහිටියත් ගැටළුවක් නෑ. විනය පිළිවෙල පවතින්නෙ එතනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අමාගෙ මහත්තයා ගෙදර එන්නෙ හරිම වෙහෙස වෙලා. ඒ මනුස්සයට හරි වැරදි බල බල ඉන්න වෙලාවක් නෑ. ගෙට ගොඩවුනු ගමන් පුංචි දරුවො ඇඟේ එල්ලෙනකොට එයාලවවත් හුරතල් කරන්න විදියක් නෑ ඇඳුම් මාරුකරලා වොෂ් එකක් දාගන්නකම්. අමා කන්නෙ පොඩි උන්ට කවලා ඉතුරු වෙන ඒවටම තව ටිකක් බෙදාගෙන. තාත්තා තනිවම මේසෙට වාඩිවෙලා කනවා. ගෙදර හැම වැඩක්ම වගේ කරන්නෙත් තීන්දු තීරණ ගන්නෙත් අමා වගේ තමයි පෙනුනෙ.

      ඒ අතින් බලනකොට නිශාගෙ මහත්තය තමයි ගෙදර ඉන්න වෙලාවට ළමයි දෙන්න බලාගන්නෙත් එයාලව එක එක වැඩවලට යොමු කරන්නෙත්. දරුවන්ව පුංචි කාලෙ ඉඳලා පුරුදු කරවලා මේසෙට වාඩිවෙලා හැමෝමත් එක්ක කෑම කන්න. එයාලට කවන්න ඕන උනේ නෑ. අම්ම දන්නව පිඟානට බෙදන්න ඕන ගාන. ඒ ටික බෙදා දුන්නම ඔක්කොම කනව කරදරයක් නැතිව. මට අනේ වාසනාවන් කියල හිතුනා.

      Delete
  4. පළවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව අහිමි වුන තැනක්....බොහෝ විට මේ ගෙදර තීන්දු තීරණ ගන්නෙ නීතිඥ ගෘහණිය විය හැකියි. දොස්තර මහත්තයාට කරන්න දෙයක් නැතුව ඇති.
    දෙවෙනි ගෙදර...සංකේතීය පියාගේ භූමිකාව හොඳින් ක්‍රියාත්මක වෙන තැනක්.. එතන පියා, භෞතිකව හිටියත් නොහිටියත් ගැටළුවක් නෑ. විනය පිළිවෙල පවතින්නෙ එතනයි.

    ReplyDelete
  5. හිතන්න දෙයක් තියෙනවා .. හොද පෝස්ට් එකක් .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සම්මානි. මටත් එහෙම හිතුනු නිසයි මේක ලිව්වෙ.

      Delete
  6. ඇත්තටම හරි වටින ලිපියක්... සරළ වෙච්ච් තරමට ජීවත් වීම පහසුයි... ඒත් ඉතින් අපි හැමෝම් රැල්ලේ දුවන එක තමා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ දේවල් එකක්වත් අපි නොදන්න දේවල් නෙවෙයිනෙ.

      Delete
  7. මමත් දැකල තියෙනවා ගෙවල් පිරෙන්න බඩු තියන ඉන්නවා.මහන්සි වෙලා ගෙදර ආවම හිතටවත් නිදහසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම හිතුනට සමහරුන්ට එහෙම දැනෙන්නෙ නැතිව ඇති. නැත්නම් ඔහොම තියාගෙන ඉඳීවිය, නේද? මටත් පිස්සු වගේ දැනුන ඒ හිටපු ටිකේ. ඒ හින්ද ඒ සති අන්තෙ අපේ ගෙදරත් විසිකරන්න පුළුවන් බඩු මොනවද තියෙන්නෙ කියල හොයල අයින් කරල දැම්ම. :)

      Delete
  8. මගේ නම් අදහස ගෙයක් උනාම සරළ වෙන්න ඕන.. ඕනවට වඩා බඩු ආවම ඒක කරදරයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්. ඒත් ඔය සරල බව අද දකින්න පුළුවන් ගෙවල් කීයෙන් කීයකද? මමත් ඕක නිතර දැකපු කෙනෙක් නම් නිශාගෙ ගෙදර තිබුණු සරල බව අපූරු වෙනසක් විදියට දැකලා මේ පෝස්ට් එක ලියැවෙන එකකුත් නෑ.

      මේක ලියනකොට මට මතක් උනේ නිශාගෙ වෙඩින් එක. දෙන්නම ඉංජිනේරුවරු නිසා පවුල් දෙකේම අයට ඕන උනා ඉහලින් මගුල් කන්න. ඒත් ඒ දෙන්න කැමති උනේ නෑ බොරු වියදමක් කියල. පස්සෙ අම්මලගෙ හිත් හදන්න පුංචි උත්සවයක් තිබ්බ ළඟම නෑදෑයින්ටයි අතහරින්න බැරි යාළුවන්ටයි. නිශාගෙ අම්මට ඕනකම තිබුණා දුවව ලස්සනට මනමාලියෙක් වගේ අන්දන්න. අන්තිමට ගෙනාව සාරිය තනිවම ඇඳගත්තෙ නිශාමයි. එයාට චිත්‍ර අඳින්න වගේ කලාත්මක වැඩ පුළුවන් නිසා මල් පොකුර හදාගත්තෙත් එයාමයි. මේක් අප් එකත් එයාම කරගත්තා. ඒත් සාමාන්‍යයෙන් අපි දකින නිශාම බොහොම චාමෙට ලස්සනට වෙඩින් එක දවසෙ හිටියා. අද කාලෙ ගෑණු ළමයි කීදෙනෙක් ඒ වගේ දෙයක් කරාවිද දිනේෂ්....?

      Delete
  9. මේ කතාව නම් මමත් අත්විඳලා තියෙනවා ගොඩක් ගෙවල්වල අපේ ගෙදර හැබැයි හොඳටම පිරිසිදුයි මගේ කාමරේ ගන්න දෙයක් නෑ පිස්සු කොර මේසේ උඩ පොතුයි කැඩුණු නොකැඩුනු කොම්පියුටර් පාර්ට්ස් රෙදි හැමතැනම ඔය වගේම එක එක බඩුත් පුරෝලා අපේ අම්මා අස් කරන්න එන්නෙත් නෑ කොස්ස කොහෙ හරි වැදුනොත් ගල් කියුබ් එකක් බෑවා වගේ මොනාහරි සද්දෙට ඇදගෙන වැටෙනවා...හැබැයි ඒ පිළිවෙල වෙනස් කරන්න බෑ අප්පා මට නම් ඇයි දන්නේ නෑ දවසක් තියෙයි ඕන්නම්

    ReplyDelete
    Replies
    1. මට හිනාත් ගියා මේක කියෙව්වම. ඔහොම කාමර මමත් දැකල තියෙනවා. ඒත් අයිතිකාරයො කාටවත් මොකවත් හොල්ලන්න දෙන්නෙ නෑ. ඉතින් කවුරුවත් පිහිදන්න හෙම යන්නෙ නැති නිසා දූවිලි වැහි වැහි තියෙනවා. සමහරුන්ට නින්ද යන්නෙත් නැතිලු හොඳට අස් කරල තියෙනකොට. :D
      ඕක පුංචි කාලෙ ඉඳලම පුරුදු විය යුතු දෙයක්, පුරුදු කළයුතු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. මගේ කාමරේත් මේ වගේමයි මේසේ උඩ ඉඩ තියෙනෙන යන්තම් තේ කෝප්පයක් තියන්න විතරයි. ජී බෝඩ් එක උඩ විතරයි මොකුත් නැත්තේ මවුස් එක ඕනවට වඩා එහා මෙහා ගෙනියනන් බැහැ :-D

      Delete
    3. කාමරේ හැටි හිතාගන්න පුළුවන්. :D

      Delete
  10. @ sAm (සෑම්),

    ඇත්තටම අද කාලෙ පවුලක සේරමලාට එකට ඉඳගෙන කන්න ලැබෙන්නෙ රෑ කෑම වේල විතරනෙ. විශේෂයෙන්ම අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරනකොට. ඒ නිසා ඒක නම් හරිම වැදගත් දෙයක් වේවි. (රිප්ලයි බ්ට්න් එක මට වැඩ කරන්නෙ නැද්ද කොහෙද තවම.)

    ReplyDelete
    Replies
    1. ඒත් රෑ කෑම වත් එකට කන්නේ ටීවි එක බලාගෙන :)

      Delete
    2. ඒක නම් ඇත්ත. කොහොමද 'බොඳ මීදුම්' අතහරින්නෙ. :D

      Delete
  11. සරල ජීවිතේ කොහොමත් ලස්සනයි.ප්‍රශ්න තිබුනත් ඒවට මුන දෙද්දි පුංචි සුන්දර කමක් තියෙනව.හැබැයි ජීවිතේ සංකීර්න වෙද්දිනම් කිසිම නිදහසක් නැහැ.අම්මයි, තාත්තයි දෙන්නම වැඩ.සමහර ඒවගේ පවුල්වල දරුවො දෙමව්පියන්ව දකින්නෙත් නැති තරම්.සරල ජීවිතයකදි පවුලේ බැඳීම් පවා ශක්තිමත් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවට එකඟයි. ජීවිතේ සංකීර්ණ වෙනකොට තමයි විඳිනවා නෙවෙයි විඳවනවා කියල දැනෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.
      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  12. මාත් කැමතියි හිස් ගේකට
    බඩු පිරිච්ච තැනකට ගියාම මට නිකන් හිර වෙලා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. අත්‍යවශ්‍යම බඩු ටික විතරක් තියා ගන්න පුරුදු උනා නම් අස් කරන්න පිහිදන්න පිරිසිදුව තියාගන්න උනත් ලේසියිනෙ නේද....?

      Delete
    2. කියන්න අමතක වෙලානෙ... ඔයාටත් බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට...

      Delete
  13. gedaraka badu wadi wena tharamata ge athule radena + shakthi prabawayan aduwenaw. e nisa gedaraka awashyathaawata pamanak badu thiya ganeema sreera suwathaawayatath hodayi...

    ReplyDelete
  14. ඒ ශක්ති ප්‍රභාවයන්, සෞඛ්‍යය ගැන කතාව මට තේරුනේ නැහැනෙ. පැහැදිලි කරලා දුන්නොත් හුඟක් වටිනවා.

    බොහොම ස්තුතියි.

    ReplyDelete