"මතක පොතේ පිටු එකිනෙක පෙරලා.... අතීතයේ මුදු සිහින විමානෙට... හෙමින් හෙමින් පාවී යන්නම්...."


Thursday, 17 November 2011

උණු වතුර සහ පුංචි දරුවෝ...


උණු වතුරයි, පොඩි දරුවොයි එකතැන තියන්න එපා කියල කියනවනෙ. එකතැන නොතිව්වට සමහර වෙලාවට වැඩිහිටියන්ගෙ අපරීක්ෂාකාරීකම නිසා සිදු වෙන අනතුරු ගැන අපි අහල තියෙනවා. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතන්දර දෙකක්.
පළමුවෙනි කතන්දරේ මම පුංචි කාලෙ දැකපු සිද්දියක් ගැන. අපි ඒ දවස්වල නාන ලිඳ ගාව ගෙදර හිටිය ඇන්ටිට අවුරුදු තුනක විතර පුතෙක් හිටියා. මේ කියන දවස සතියෙ දවසක් නිසා අහළ පහළ කට්ටියත් ඒ ගෙදර අයත් වැඩි දෙනෙක් ගෙවල්වල හිටියෙ නැහැ. අපි ළිඳ ළඟ ඉන්නව දැකල අපටත් කතා කරගෙනම ඇන්ටි මල්ලිගෙ අතින් අල්ලගෙන ගෙට යනව අපි දැක්කා. විනාඩි පහක් යන්න ලැබුනෙ නෑ අපට ඇහුනා. මහා විලාපයක්. මල්ලිත් යටිගිරියෙන් මරහඬ තියනවා අපට ඇහුනා. අපිත් දිව්වා මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්න. එතකොටම මල්ලිවත් හරහට වඩාගත්තු ඇන්ටි දරුවගෙ ඇඟට උණුවතුර වැටුනා කියාගෙන ගෙයින් එලියට දිව්වා. පොඩි එකාගෙ මුළු පපුවම රෝස පාටයි. ඇන්ටි මල්ලිගෙ ඇඳුම ගලවනකොට හම ගැලවිලා ගිහින්. මල්ලිව ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියෙන කෙනෙක් ඒ කාලෙ අහළ පහළක හිටියෙ නැති හින්දා ඒ ඇන්ටි හොඳටම අසරණ උනා. ඔය අතරෙ ළඟ පාත හිටිය පණ්ඩිතයො කුකුළ් තෙල් පිච්චුනාම හොඳයි කියල ඒවයි, අමු බිත්තර හොඳයි කියල බිත්තරේකුයි කඩල අර අසරණය විලාප තියද්දි ඒ තුවාලෙ උඩට දාල තිබුණා. ඉතින් ඉස්පිරිතාලෙට ගෙනියනකොට ඒ මල්ලිගෙ තුවාලෙ විනාස කරල ගමේ පණ්ඩිත රාළලා. ඇන්ටිත් හොඳටම බැනුම් අහගෙන තිබුනා. කොහොමින් හරි වෙලාවට නිසි තැනට යාගත්ත නිසා මල්ලි ගොඩ ගියා.
පස්සෙ බලනකොට වෙලා තියෙන්නෙ අපිත් එක්ක කතා කරල ගෙට ගියපු ඇන්ටි තේ හදාගන්න වතුර ජොග්ගුවකට හීටරේ ගහල කුස්සියෙ තිබුනු කොන්ක්‍රීට් ලෑල්ලෙ ගැට්ටක තියලා. මේ තියපු තැන හරියටම කුස්සියට ඇතුළු වෙන තැනමයි. මල්ලි ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ ගෙදර සාලෙ. ඒ නිසා ඇන්ටි කිසිම බයක් සැකක් නැතිව ඒක එහෙමම තියෙද්දි වෙන වැඩවල යෙදිලා. ඔය වෙලාවෙ එතැනට ආව මල්ලි අර පැහි පැහි තිබුණු වතුර එක ඇදලා, ඒක ඇඟට පෙරලිලා. හොඳ වෙලාවට හීටරේ ඇඟට වැටිලා නැහැ.
දෙවෙනි කතාව සිදුවුනේ මම වැඩ කරන තැන මගේ හිතවත් පිරිමි කෙනෙකුට. මේ සිදුවීම වෙනකොට, කසාද බැඳලා දරුවො නැතිව ඉඳලා සෑහෙන කාලෙකට පස්සෙ ඉපදුනු චූටි පුතෙක් හිටිය මෙයාලට. දරුවට මේ සිද්දිය වෙනකොට අවුරුදු හතරක් විතර ඇති. එක්තරා සති අන්තෙක කවුරුත් ගෙදර ඉන්න වෙලාවෙ උදේ දහයට විතර තේ බොන්න හිතාගෙන මගේ හිතවතා හීටරේ ගහල කුස්සියේ වතුර උණු කරල තියෙනවා. ඔය අතරෙ මෙයාගෙ නෝනා තැඹිලි ගෙඩියක් ගෙනත් දීල කිව්වලු පුතාට ආස්යි කියන නිසා එයාට කපල දෙන්න කියලා. ඉතින් ඒ වෙනකොට වතුර රත් වෙලා තුබුණු නිසා හීටරෙත් අයින් කරලා, උණු වතුර ජොග්ගුව එහෙමම තියෙද්දි මෙයා අනිත් පැත්තට හැරිලා බිම තියාගෙන තැඹිලි ගෙඩිය කපල තියෙනවා දරුවත් එක්ක කතා කර කරම. ඔය අතරෙ දරු පැටියා මොකද කළේ චූටි ඇඟිලි තුඩුවලින් ඉස්සිලා, කටත් ඇරගෙනම අර ජොග්ගුව ඇද්දා ඒකෙ මොනවද තියෙන්නෙ බලන්න. අනේ අර මොහොතකට කලින් උතුරපු වතුර ටික ජොග්ගුව පෙරලිලා වැටිල තියෙන්නෙ දරුවගෙ කටට. ඒකෙන් දරුවගෙ ශරීරය බාහිරව විතරක් නෙවේ, අභ්‍යන්තරවත් විශාල වශයෙන් පිළිස්සිලා. ඒ දරුණු හානියෙන්ම දරු පැටියා නො එනගමන් ගියා.
මේ සිදුවීම් දෙකම අපට හිතන්න යමක් ඉතුරු කරල තියෙනවා නේද...? පුංචි දරුවො ඉන්නකොට කිසීම ආකාරයක අවදානම් වැඩක් නොකරන්නත්, හැම මොහොතකම අනතුරු සිදුවිය හැකි උපකරණ (විශේෂයෙන්ම කුස්සියේ) දරුවන්ගෙ අතට අසුවිය හැකි මානයෙන් ඉවත් කරල තියන්න වැඩිහිටියන් වගබලා ගත යුතුයි.
පහත සඳහන් කරල තියෙන්නෙ ඒ වගේ දෙයක් උනාම කරන්න ඕන දේවල්.
පිළිස්සීම් වර්ග දෙකක් තියෙනවා. එකක් උණුවතුරට,අධික උණුසුම් කෑමවලට සහ වාශ්පවලට වෙන පිළිස්සීම්. අනික කෙළින්ම ගින්දරෙන් ඇතිවෙන පිළිස්සීම්.කෙලින්ම ගින්දරෙන් නොවුනු මේ පළමුවෙන්ම කිව්ව විදියේ පිළිස්සීමක් ඇති උනාම ඉස්සෙල්ලම කරන්න ඕන ඒ පිළිස්සුනු ප්‍රදේශය ගලායන සීතල වතුරට (ටැප් එකකට වගේ) අඩුම තරමෙ විනාඩි 10ක්වත් අල්ලගෙන ඉන්න එක.  මේ දේ කරන්න ඕන ඒ පිළිස්සුනු ප්‍රදෙශය අදාල පුද්ගලයාගෙ ඇඟේ සාමාන්‍ය උශ්ණත්වයට පත්වෙන කල්ම. පිළිස්සීම වඩා බරපතලයි කියල තේරෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.  විශාල ප්‍රදේශයක් පිළිස්සීමට ලක්වෙලා තියෙනවා නම්, විශේෂයෙන්ම මුහුණ, ලිංගාශ්‍රිත ප්‍රදේශ, හුස්ම ගැනීමට සම්බන්ධ ඉන්ද්‍රියයන් එහෙම.

ගින්දරෙන් පිළිස්සීමක් සිදු වුවොත් මොනම වෙලාවකවත් ඕනවට වඩා ඒ තුවාල සීතල කරන්න යන්න එපා, ලෙඩාගෙ ශරීර උශ්ණත්වය භයානක ලෙසට පහත බැසිය හැකි හින්දා. ඒ වගේම තුවාලෙට ඇලිල තියෙන කිසිම දෙයක් ඉවත් කරන්න උත්සාහ කරන්න යන්න නරකයි. ඒකෙන් තවදුරටත් තුවාල වෙන්න පුළුවන් වගේම විශ බීජ ඇතුළු වෙන්නටත් පුළුවන්. මොනම වෙලාවකවත් තුවාලය අල්ලන්නවත් ඒකට මොනවාවත් කරන්න යන්නවත් එපා. ඒ වගේම කිසිම ආකාරයක දෙයක්, විශේෂයෙන්ම තෙල් වගේ දේවල් තුවාලය උඩට දාන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ලෙඩාව වෛද්‍යවරයෙකු ළඟට රැගෙන යාම කළ යුතුයි.
First Aids are from St Johns Ambulance...

2 comments:

  1. වටිනා උපදෙස් ටිකක් වගේම, කාලීන ලිපියක්... තාක්ෂණය දියුණු නිසා අපේ ආච්චිලගේ කාලෙට වඩා අපේ කාලේ ළමයින්ට අනතුරු වැඩියි. ඒ කාගේ ඔහොම පිච්චුනා කියලා අහන්නවත් තියේද මන්දා... කොහොම වුනත් පොඩි අයගේ කුතුහලය සාමාන්‍ය දෙයක්. ඒ අයව කූඩු කරන්නවත් නීති දාන්නවත් හොඳ නෑ. දෙමව්පියෝ තමන්ගේ දරුවා ගැන හැම වෙල්ම අවධියෙන් බලා ඉන්න ඕනේ. ලොකු අයගේ නොසැලකිල්ල තමා මේ වගේ අනතුරු වලට මුල !

    ස්තුතියි තොරතුරු වලට !

    ReplyDelete
  2. ඔයා කියපු දේට මාත් එකඟයි මල්ලි. ඒ කාලෙ අපේ අත්තම්මලගෙ ගෙදර නම් කුස්සිය තිබුනෙ වෙනම. ගෙයි පිටිපස්සෙන්. ඒ කාලෙ මං දැකල තිබුනු ගොඩක් ගෙවල්වල එහෙමයි. ඉතින් පොඩි ළමයි ඒවායෙන් ඈත්කරල තියන්න ලේසි වෙන්න ඇති.

    ReplyDelete