Sunday 13 November 2011

අපට හමුවෙන මිනිස්සු....



එදිනෙදා ජීවිතයෙදි අපට මුණගැහෙනවා විවිධාකාර මිනිස්සු. එයින් සමහරක් අපේ පවුල්වලම සාමාජිකයො. සමහරු යාළුවො, තව සමහරු තරහකාරයො, තරඟකාරයො.... වැඩි දෙනෙක් නන්නාඳුනන අය... මේ අයත් එක්ක සමාජයේ ගනුදෙනු කරනකොට එයාලගෙන් අපටත්, අපෙන් එයාලටත් හොඳ දේවල් වගේම නරක දේවලුත් සිද්ද වෙනවා. ඒත් පස්සෙ කාලෙකදි ආපස්සට මතක් කරල බලනකොට අපට වැඩිහරියක් මතක තියෙන්නෙ අනිත් මිනිසුන් විසින් අපට කරපු අවැඩමයි.
ඒ මිනිස්සුම අපි වෙනුවෙන් කරපු හොඳ දේවල්වල මතකයට වඩා ප්‍රබලව නැගීගෙන එන්නෙ අර නරක. සමහරවිට එයා ගොඩක් හොඳ දේවල් කරල එකෝමෙක නරක දෙයක් කළා වෙන්න පුළුවන්. එක මනුස්සයෙක් ගත්තොත් එයා කලුද සුදුද කියල වර්ග කරන්න අපට පුලුවන්ද? කල්පනා කරල බලනකොට මේ කවුරුවත් තනිකර කලුත් නෑ, සුදුත් නෑ. හැමදෙනාගෙම වගේ තියෙන්නෙ මේ දෙකේ මිශ්‍රනයක්. ඉතින් අපට පුළුවන් නම් මේ මිනිස්සුන්ගෙ තියෙන නරක හිතේ කොනකට තල්ලු කරල දාලා එයාගෙ තියෙන එකම හොඳක් හරි ගැන හිතන්න..... එතකොට අපට දැනෙන හැඟීම මොන වගේද... නරක ගැන හිතල හිත පපුව බර කරගන්නවට වැඩිය, හොඳ ගැන හිතනකොට දැනෙන හැඟීම සැහැල්ලුයි කියල කාට හරි හිතිල තියෙනවද.. එහෙම උනොත් අපේ හිත් මීට වැඩිය පිරිසිදු වෙලා, වෛරය පළිගැනීම වගේ නරක සිතුවිලි හිත්වලින් ඈත්වෙලා ආදරය, දයාව, කරුණාව වගේ ලස්සන හැඟීම්වලින් හිත පිරිලා යාවි.. එහෙම උනොත් කවදා හරි මේ ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන තැනක් වේවි...

මට මෙහෙම හිතුනෙ මේ ලඟදි එක්තරා පුවත්පතක මං කියැවූ ලිපියක් නිසා... එක පුංචි දරුවෙකුගෙ මාරාන්තික ලෙඩක් සුව කරගන්න වියදමට සල්ලි මදිවෙලා, ඒ මදිපාඩුව එකතු කරලා දීල තිබුනෙ වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියමවෙලා ඉන්න සිරකරුවො කිහිපදෙනෙක්. මේ අය විවිධාකාරයේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ කරපු අය වෙන්න ඇති... ඒත් එහෙමයි කියලා එයාල ඉන්න තත්ත්වය ගැනත් හිතනකොට, ඒ කරපු දේ ලඝු කරලා හිතන්න අපට පුලුවන්ද...

 

1 comment: